අව්වේ ගියාම ඔබෙත් මෙවැනි ලප දානවාද එහෙනම් ඔබත් පරිස්සමින්..

    0
    137

    කනට අහලා පුරුදු නැති වුණත් අපේ රටේ කාන්තාවන් අතර වැඩිපුර දකින්නට ලැබෙන රෝගයක් ගැනයි අද ඔබට කියන්න යන්නේ. ලුපස් නමින් හැඳින්වෙන මේ රෝගය වැඩිපුරම සැදෙන්නේප්‍රජනන අවදියේ පසුවන කාන්තාවන්ටයි. ලූපස් රෝගය ජානමය රෝගයක් ලෙස සැලකේ. රෝගී පුද්ගලයකු ඔබේ පවුලේ සිටිනවා නම් රෝගය වැලඳීමට ඇති හැකියාව ඉතා ඉහළයි. ලුපස් රෝගය වැලඳීමට හේතුවන ජාන සහිත පුද්ගලයකු ඉර එලියට නිරාවරණය වීම ඖෂධ මානසික ආතතිය සමහර බැක්ටීරියා හෝ වෛරස ආසාදන නිසා ලුපස් රෝගය සැදෙන්නට පුළුවන්.

    තරුණ ඔබේ සුන්දර මුහුණ හිරු එළියේ ගිය විට අවපැහැ ගැන්වෙනවාට ඔබ කැමති නැතුව ඇති නේද? මේ දවස්වල තිබෙන දැඩි රස්නියත් එක්ක නිතර හිරුඑළියට නිරාවරණය වුණාම මූණ විතරක් නොවෙයි අත, පය උරහිස ඇරුණු ඇඳුම් ඇන්දොත් පිට හා ගෙල අවටත් කළු පැහැ ගැනීම සාමාන්‍ය දෙයක්. ඒත් පොඩි අව්වේ ගියත් හිරුඑළිය වැදුණු සැනින් ඔබේ සම අවපැහැ ගැන්වෙනවා නම් සම මතුපිට කළු හෝ අවපැහැති තිත් හෝ ලප පෙන්නුම්කරනවා නම් එම ලපවල හැඩය සමනල හැඩයක් වගේ නම් ඒ ගැන ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. එම සමනල හැඩැති ලප හෝ කළු පැල්ලම් ලුපස් රෝගයේ ලක්ෂණය විය හැකිය. මේ ලප රූපලාවණ්‍ය ගැටලුවක් යැයි සිතා රූපලාවණ්‍ය ශිල්පීන් වෙත යෑම හෝ විවිධ ආලේප ගැල්වීම නොකළ යුතු අතර රෝග ලක්ෂණ දුටු විට වෛද්‍ය උපදෙස් ගැනීම වඩා සුදුසුයි.

    සමනල හැඩැති ලප චර්ම රෝගයේ ලක්ෂණ වෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. බොහෝවිට යොවුන් දැරියන්ගේ මුහුණු මත මෙවැනි ලප ඇතිවෙනවා. මේ සමනල ලප වේදනාවෙන් තොර වුවත් බරපතළ රෝග තත්ත්වයන්ට හේතු වෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 16-46 අතර ප්‍රජනන අවදියේ පසුවන කාන්තාවන්ට එයින් වන බලපෑම වැඩියි. ලුපස් රෝගය වැඩියෙන්ම බලපාන්නේ සමට සහ හැඳි වලටයි. එය සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන ප්‍රතිශක්තිය හීන කරන ආබාධයක්. රෝගය ඇතිවන්නේ සිරුරේ ඇතිවන වෙනස් වීමක් හේතුවෙන්. සාමාන්‍යයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් සිදුකරන්නේ බාහිරින් සිරුරට ඇතුළු වන වෛරස, බැක්ටීරියා වැනි විෂබීජවලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවා එම විසබීජවලට එරෙහිව සටන්කර ශරීරය ආරක්ෂා කර ගැනීමයි. ඒත් ලුපස් රෝගයේදී ශරීරයේ ඇති සෛලවලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවී එමඟින් සිරුරේ අවයවවලට හානි සිදුවෙනවා. මෙලෙස ශරීරයේ නිපදවන ප්‍රතිදේහ මඟින් තමන්ගේම සෛලවලට හානි සිදු කරන රෝග ස්වයං ප්‍රතිශක්ති රෝග යනුවෙන් හඳුන්වනවා.

    ලුපස් රෝගයෙහි මූලික ලක්ෂණ අතර හන්දි වේදනාව, අධික ලෙස හිසකෙස් ගැලවී යාම, හිරුඑළියට අධි සංවේදීතාව හෙවත් අව්වේ යන විට සම කැසීම හෝ රතු වීමත් ඇස්වල කඳුළු නිපදවීමත් දක්වන්න පුළුවන්. රෝගය වැලඳුණු කාන්තාවන්ට ගබ්සා ඇතිවීම, වකුගඩුවලට බලපෑම් ඇතිවීම, ස්නායු පද්ධතියට හා මොළයට හානි ඇතිවීමත් එහි ඇති භයානක තත්ත්වයයි. රෝගය කෙනකුගෙන් තවත් කෙනකුට බෝ නොවුණ ද රෝගී කාන්තාවකට බිහිවන දරුවකුට රෝගය වැලඳෙන්නට ඇති හැකියාව වැඩියි.

    ලුපස් රෝගය නිට්ටාවටම සුවකළ නොහැකි නමුත් ඖෂධ මඟින් ප්‍රතිදේහ නිපදවීම පාලනය කිරීමට පුළුවන්.. නිසි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාගනිමින් රෝගය පාලනය කළ විට සුරක්ෂිතව දරුවන් බිහිකළ හැකියි. ඔබට රෝගය වැලඳී ඇතැයි සැකහැර දැනගත් විට දරුවකු අපේක්ෂා කරන්නේ නම් දිගින් දිගටම වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සැලසුමකට අනුව කටයුතු කිරීම ඉතා වැදගත්.

    ලංකාවේ දැනට ලුපස් රෝගීන් 21000 කට වෙඩි පිරිසක් ඇතැයි ගණනය කර තිබෙනවා. කොළඹ රෝහලේ ලුපස් රෝගීන්ට විශේෂ සායනයක් පැවැත්වෙනවා. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක රජයේ රෝහලකින් රෝගය සඳහා වෛද්‍යවරුන්ගෙන්  උපදෙස් ලබාගන්නට ඔබට පුළුවන්. ඉහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් වේ නම් ළඟම පිහිටි රෝහලක කායික රෝග විශේෂඥවරයකු ,රක්තවේද විශේෂඥවරයකු හෝ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් ඔබට අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්නට පුළුවන්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here